Tuesday, April 7, 2015

රිදී මේසයේ සැගවුණු භූතයා

සිරිවර්ධන දුක්මහන්සියෙන් ගොඩනගාගත් නිවසට ගෙවැදී සති කිහිපයක් ගෙවී ගියේය. නිවසට අවශ්‍ය මේස පුටු මිලදී ගන්නට තරම් ආර්ථික ශක්තියක් ඒ වනවිට ඔහුට තිබුණේ නැත. රජයේ සේවකයකු වූ සිරිවර්ධන ලබාගත් බැංකු ණය සම්පූර්ණයෙන්ම නිවස ඉදිකිරීමටම යටකර තිබුණි. මේ අතරතුර ඔහු සේවය කළ ආයතනයේ හිතවතකුගෙන් අඩුවට මිලදී ගතහැකි ගෘහ භාණ්ඩ ඇති තැනක් පිළිබඳ තොරතුරක් ඔහුට ලැබුණේය.

‘සිරිවර්ධන මහත්තයා පන්නිපිටියේ ගෙදරක අඩුවට මේස පුටු වගයක් විකුණන්න දාලා තිබ්බා’
‘කොතැනද?’

‘පන්නිපිටිය හන්දියට කිට්ටුවමයි. ගොඩක් ලාබයි. හොඳ මේසයක් තිබ්බා. මට මහත්තයව මතක් වුණා. ගෙදරට මේසයක් ගන්න ඕනේ කිව්වනේ’

‘අපි හවසට ගිහින් පොඞ්ඩක් බලමුද?’

‘වැඩ ඇරිලා යමු’

හවස කතාකරගත් පරිදි ඔවුහු මේසය මිලදී ගැනීමට ගියහ. එතැන තිබුණේ වසා දමන ලද හෝටලයක පුටු මේස හා උපකරණය. පිට පළාතක පවත්වාගෙන ගිය හෝටලයක බඩු එහි හිමිකරුවන් නිවසට ගෙනවිත් දමා විකුණතැයි සිරිවර්ධන සිතුවේය. හිතවතා පැවසූ ලෙසම ඒවායේ මිල ඉතා අඩුය. ගෙදරට අවශ්‍ය පුටු මේස ටික ඉතා අඩුවට මිලදී ගැනීමට හැකිවීම ඔහුට ඇති කළේ මහත් සතුටකි. තමන්ගේ කාමරයට හොඳ තේක්ක ලීයෙන් කරන ලද ලියන මේසයක්ද ඔහු මිලදී ගත්තේ දරවලට ඉවත දමන ලෑලි ටිකක්වත් ඒ මිලට නොලැබෙන නිසාය.

අදින් වසර තිහකට පෙර සිරිවර්ධන මිලදී ගත් ඒ ලියන මේසය ඔහුගේ කාමරයේ එක් මුල්ලක අදටත් දැකගත හැකිවෙයි. එහෙත් මේසය නිවසට ගෙන එන දවසේ පස් දෙනෙක් සිටි නිවසේ අද ඉන්නේ සිරිවර්ධන පමණි.
නව නිවසට පිවිස කාලය ටිකෙන් ටික ගෙවී ගියේය. එතෙක් ඔවුන් අතර පැවති සතුට ටිකෙන් ටික අඩුවී යන්නට වූයේ කිසිදිනක තරහානොගිය සිරිවර්ධනට සුළු දෙයට පවා තරහා යන්නට වීමත් සමගය. සමහර අවස්ථාවලදී තරහා ගිය හේතුව ඔහුටම සිතාගත නොහැකි විය. තරහා ගිය විට ඔහු හැසිරුණේ පිස්සකු ලෙසය. අසභ්‍ය ලෙස බැන වදිමින් කොණ්ඩය අවුල් කරගනිමින් සම්පූර්ණයෙන්ම වෙනස්ම අයුරින් ඔහු හැසිරුණේය.

නිවසේ අයට මෙය මහත් ගැටලූවක් විය. මෙච්චර කල් හොඳින් ගත කළ මිනිසාට සිදුවූයේ කුමක්ද කියා ඔවුනට සිතාගත නොහැකි විය. රාජකාරි ස්ථානයේදී හෝ නිවසින් පිටතදී ඔහු ගතකළේ වෙනස් ජීවිතයකි. ඉතා සැහැල්ලූවෙන් මෙන්ම ඉවසීමෙන් කාලය ගත කළද නිවසට පැමිණි විට ඒ සියල්ල පිපිරී ගියේය. වසර දෙක තුනක් ගෙවී යද්දී නිවසේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙන්නට විය. සිරිවර්ධනගේ කාමරය ටිකෙන් ටික පෙරේත විමානයක් බවට පත් වන්නට වූයේ බිරිඳ ලොකු දුවගේ කාමරයේ
නිදාගැනීමට තීරණය කිරීමත් සමගය. සිරිවර්ධනගේ විකාර හැසිරීම ඇයට මහත් මානසික පීඩාවක් ඇති කළාය.

සිරිවර්ධනගේ බිරිඳ මේ අතරතුර තමන්ගේ නිවසට සිදුව ඇත්තේ කුමක්දැයි කියා සොයා ගැනීමට සාස්තර, අඳුන් හා යකැදුරන්ගේ පිහිට සොයා යන්නට විය. එක එක තැනින් එක එක කාරණා පැවසුවේය. බොහෝ තැන්වලින් කියැවුණේ නිවසට කර ඇති හදිහූනියමක් පිළිබඳයි. කියූ දේවල් එකිනෙකට පරස්පර වුවත් සැමියාට හොරෙන් නිවසට කරගත හැකි ආරක්ෂාවන් ඇය කරගත්තේ නිවසට පැමිණ කරන පූජා කටයුතුවලට තම සැමියා තදින්ම විරුද්ධවූ නිසාය.

සිරිවර්ධනට මානසික රෝගයක් ඇතැයි නිවසේ අය සිතූහ. බොහෝ දිනවල ඔහු කාමරයේ වූ ලියන මේසයට වී කල්පනා කරමින් රැුය පහන් කළේය. ඔහු කල්පනා කරන්නේ කුමක්ද කියා හෝ හැඟීමක් ඔහුට නැත. කාමරයට කිසිවකු හෝ ඇතුළු වුවහොත් යකකුට මෙන් ඔහුට තරහා ගියේය. එක් දිනක් සිරිවර්ධනගේ පොඩි පුතා හදිසියකට ලියන මේසයේ ලාච්චුවේ තිබූ පෑනක් ගත්තේය. ඒ අවස්ථාවේදී පියා නිවසේ සිටියේ නැත. පියා ඒමට පෙර යළි පෑන ලාච්චුවටම දැමුවේ පියාගේ හැටි දන්නා නිසාය. එහෙත් සිදුවූයේ කිසිලෙසකවත් සිතිය නොහැකි දෙයකි.

වැඩ ඇරී රාත‍්‍රී හතට පමණ නිවසට පැමිණි සිරිවර්ධන ඇඟපත සෝදාගෙන කාමරයේ ඇඳට ගියේය. දරුවන් තිදෙනාට සහ බිරිඳට ඔහු කතා කළේ අත්‍යවශ්‍ය කාරණයකදී පමණක් වූයේ ඔහුගේ කේන්තිය කොහෙන් පුපුරා යාවිද කියා තේරුම්ගත නොහැකිවූ නිසාය. ඇඳට වී ටික වේලාවක් සිටි සිරිවර්ධන එක් වරම නැගී සිටියේය. ඔහුගේ මුහුණ වියරු වැටුණු නාගයකුගේ බඳු විය. ඇස් දෙක ලොකු විය. වේගයෙන් කාමරයෙන් එළියට පැමිණි ඔහු මොර දෙන්නට විය.

‘මොකාද මගේ මේසෙ ඇද්දේ. මම තොපිට කියලා තියෙනවා නේද මගේ කාමරයට එන්න එපා කියලා. කියපන් මොකාද අද මගේ කාමරයට ගියේ කියලා’

කිසිවකු හෝ කතා කළේ නැත. කතා කළොත් ප‍්‍රශ්නය දුර දිග යන බව ඔවුහු අත්දැකීමෙන් දැන සිටියෝය. එහෙත් නිහඬ බව මෙවර ප‍්‍රශ්නය තව තවත් වර්ධනය කරන්නට විය.

‘තොපි එකෙක්වත් කියන්නැද්ද මොකාද මගේ මේසය ඇද්දේ කියලා. අද මම තොපිව ඉතුරු කරන්නේ නෑ’
වෙනදා සිදුනොවූ දෙයක් සිදුවන්නට යන බව තේරුම්ගත් මව සිරිවර්ධන කුස්සිය දෙසට යන සැණින් ළමයි තිදෙනා රැුගෙන නිවසින් එළියට පැන්නේ ලොකු දුවගේ කාමරයේ දොරද වසා දමමිනි. ඔහු කුස්සියෙන් එළියට පැමිණියේ පොරවද රැුගෙනය.

‘හිටපන් අද තොපිට මම කවුද කියලා පෙන්වන්න’

ඔහු ලොකු දුවගේ කාමරයේ දොර පොරවෙන් ගසා දෙපලූකර කඩා දැමුවේය. එහෙත් කාමරයේ කිසිවකු නොමැති බව තේරුම්ගත් ඔහු සාලයේ වූ බඩු මුට්ටු කුඩු කරන්නට වූයේ යකෙක් වැහුණු මිනිසකු ලෙසිනි. එයින් නොනැවතී ලොකු දුවගේ හා බිරිඳගේ ඇඳුම් එළියට දමා ගිනි තිබ්බේය. දරු තිදෙනා හා බිරිඳ අවසන් වරට නිවසේ සිටියේ එදිනය. ඔවුන් මවගේ මහ ගෙදරට පිටව ගියේ යළි කිසි දිනක නොපැමිණෙන අදහසිනි.

සිරිවර්ධනට තම පවුල යළි කිසිම දිනක එකතු කරගැනීමට හැකිවූයේ නැත. ඔහු කොපමණ උත්සහ කළද තම පවුලේ අය යළි නිවසට එක්කගෙන ඒමට හැකිවූයේ නැත. අවසානයේ ඔහු නිවසේ තනිවිය. වසර විස්සක් පමණ කාලයක් යනතුරුම ඔහුගේ පවුලට සිදුවූයේ කුමක්ද යන්න සොයාගැනීමට ඔහුට හැකිවූයේ නැත.
මෑත එක් දිනකදී ඔහුගේ මිතුරකුගේ අවශ්‍යතාවක් උදෙසා මා හමුවීමට පැමිණියේය. මිතුරාගේ කාරණාව නිමවීමෙන් පසු ආගිය තොරතුරු කතා කර කර සිටින අතරතුරදී මා සිරිවර්ධනගෙන් ඇසූ ප‍්‍රශ්නයෙන් සිරිවර්ධන ගල්ගැසී ගියේය.

‘තමන්ගේ කියන හැමෝම තමන්ව දාලා ගියා නේද?’

‘ඔව්. අවුරුදු විස්සක් තිස්සේ ගෙදර ඉන්නේ මම විතරයි’

‘නෑ... ගෙදර තව කෙනෙක් ඉන්නවා’

මා සිනාසෙමින් පැවසුවේය.

‘කවුරුත් වෙන නෑ..’

‘ඇයි ඔබ අවුරුදු 25-30කට කලින් මේසයක් ගෙනාවා නේද? ඒකේ අයිතිකාරයත් ඉන්නේ ඔය ගෙදරමයි’
‘කවුද?’

‘ගෙදර ගියාම හොඳට බලන්න වාඩිවෙන තැනින් වම් පැත්තේ මැද හරියේ පිහිතුඩක් ඇනිච්ච පාරක් ඇති. පාවිච්චි කරපු මේසයක් නේද ගත්තේ?’

‘ඔව්’

‘ඔය මේසයේ අයිතිකාරයා ලොකු බිස්නස්කාරයෙක්. හැබැයි මොනවා හරි හොර වැඩවලට සම්බන්ධයි. රිදී වගයක ප‍්‍රශ්නයකට ඔය මේසය උඩම පිහියෙන් ඇනලා එයාව මරලා’

‘ඇයි එයා මගේ පස්සෙන් එන්නේ....’

‘එයාගේ වස්තුව තියෙන්නේ ඔය මේසයේ...’

‘මේසේ මම ගන්න කොට ඒකේ මුකුත් තිබ්බේ නෑ’

‘ඔය මේසේ ලොකු කකුල් නේද තියෙන්නේ..... ගොඩක් බර මේසයක් නේද?’

‘ඔව්.... ඒක ගොඩක් බර හයිය මේසයක්’

‘ඒකේ කකුල් ලේසියෙන් ගලවන්න පුළුවන් විදියට ඇණ දාලා ඇත්තේ. ඒ කකුල් ගලවන්න. ඒක ඇතුළෙ රිදී පතුරු වගයක් තියෙයි. ඔය ටික නිසා තමයි තමුන්ගෙයි, එයාගෙයි දෙන්නගෙම ජීවිත විනාශ වුණේ..’

‘එයාව අයින් කරන්න බැරිද?’

‘එයා කියන විදියට කළොත් එයාව නිදහස් කරන්න පුළුවන්...’

‘මොකක්ද කරන්න ඕනේ.. එතැන තියෙන රිදීවලින් පොඩි මල් පොකුරක් හදවන්න. මල් 21ක. ඒක රතුපාට වීදුරු පෝච්චියකට දාලා බෝගහක් යටින් තියලා පොඩි තැඹිලි ගෙඩියක් දෙකට පළලා, කොහොඹ තෙල් පහනක් පත්තු කරලා, බෝධිය මුල ළඟ තියලා පූජා කරන්න. ඒ පින ඒ ආත්මයට අනුමෝදන් කරලා, ඉන්න ආත්මෙන් මිදෙන්න කියලා හිතන්න’

සිරිවර්ධන නිවසට පැමිණියේ පැවසූ දෙය ඇත්තක්ද යන්න තම නෙත්වලින්ම දැකීමේ අදහසිනි. ඔහු නිවසට පැමිණි සැණින් ගියේ මේසය ළඟටය. මේසයේ කකුල් සවිකර තිබුණේ බෝල්ට් ඇණ දෙකකිනි. මේසයේ පළමු කකුල ගැලවූ විට ඔහුගේ දෑස් නිලන්කාරවී ගියේය. කකුල තුළවූ රිදී කැබලි ටයිල් පොළොව මතට හැලී ගියෙන් සිරිවර්ධනට ආසාවකට වඩා ඇතිවූයේ තරහකි. තමාගේ මුළු ජීවිතයම විනාශකර දැමූයේ මේ රිදී කැබලිය යන හැඟුමෙන් ඒ දෙස බලා සිටියේය.

කකුල් හතර තුළම වූ රිදී ටික එක ගොඩකට දමා දිගු සුසුමක් හෙළුෑ සිරිවර්ධන මළගිය ආත්මය ඉල්ලූ පූජාව කරන අයුරු බිම වාඩිවී කල්පනා කරන්නට විය.

වෛදික ජ්‍යොත්ෂවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Monday, April 6, 2015

චේතන රිටිගලට රැුගෙන ගියඅභිරහස් මහල්ලා අතුරුදන්

ඔහු නමින් චේතනය. වසර කිහිපයකට පෙර ඔහු මුහුණ දුන් මේ සිදුවීම ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරලීමට සමත් විය. කොළඹ සරසවියේ තුන්වැනි වසරේ සිසුවකු වූ චේතන ඒ අතර තුර කුඩා ව්‍යාපාරයක්ද කරගෙන ගියේය. කොල්ලූපිටියට ආසන්නයේ බෝඩිමක නතර වී සිටි චේතනගේ ගම බදුල්ල වූ බැවින් ඔහු ගමේ ගියේ මාසයකට සැරයක් පමණි. එදා ඉරිදා දිනකි. උදේ සිට කම්මැලිකමින් කාලය ගත කළ චේතන බෝඩිමේ තමා සමග සිටි සගයාට යෝජනාවක් ඉදිරිපත් කළේය.

‘මචං අපි ගෝල්ෆේස් එක පැත්තට යමුද?’

‘මේ ගිනි අව්වේ..’

‘ඔව් බං කම්මැලියි...’

‘ගිනි අව්වේ ගිහින් මොනා කරන්ඩද බං..’

‘බත් දෙකකුත් අරන් යමු. නානා අයියගෙන් ඉස්සෝ වඬේ දෙක තුනක් අරගෙන එතැන ඉඳගෙනම කාලා වටයක් දාලා එමු.’

අවසානයේ මිතුරන් දෙදෙනා මවුන්ටන් බයිසිකලයේ නැගී අරලියගහ මන්දිරය පසුකරගෙන ගෝල්ෆේස් දෙසට ගමන් කරන්නට විය. අතර මඟදී ගත් බත් පාර්සල් දෙකද රැුගෙන ගෝල්ෆේස් පිටියේ වෙරළ පැත්තට වන්නට ඇති කඩපේළියේ වඬේ කඩයක් කරන මුස්ලිම් ජාතිකයකු වූ නානා අයියා කාලයක සිට ඔවුන්ගේ හිතවතෙකි. කඩය අසල පුටුවල වාඩි වී ආගිය තොරතුරු කතාකරමින් පැය කිහිපයක් ගෙවී ගියේය.

‘බඩගිනියි බං කමු..’

‘නානා අයියේ බත් ටිකක් කමුද?’

‘බෑ මල්ලිලා ඔයා කන්න’

කඬේ පිටුපස කොන්ක‍්‍රීට් බංකුව දෙපැත්තට කකුළ දමා ගත් චේතන බත් පාර්සලය දිග හැර ගත්තේ චේතනගේ යහළුවා පිඟානක් උඩ කෑම පාර්සල තබාගෙනම කෑම ඇරඹුවේය.

චේතන කන්නට පටන්ගෙන ගත වූයේ විනාඩි කිහිපයකි. වයසක හිඟන්නකු එතැනට පැමිණියේය.

‘අනේ පුතේ මට බඩගිනියි.

මටත් කන්ඩ ටිකක් දෙන්ඩකෝ.’

චේතන ඔළුව ඔසවා බැලූවේය. ඉතා අපිරිසුදු පෙනුමක් සහිත හිඟන්නෙකි.

‘ඔය පැත්තෙන් වාඩි වෙලා කන්ඩ, මම මේ පැත්තෙන් කන්නන්’ චේතනගේ කටින් පිටවූයේ කුමක්දැයි ඔහුටම සිතාගත නොහැකි විය. ඒ මොහොතේ ඔහුට අප්පිරියාවක් හෝ වෙනයම් හැඟීමක් දැනුණේද නැත.

දෙදෙනාම බත් එක බෙදා ගෙන කෑවේය.

‘පුතේ උඹට පින්සිද්ධ වෙනවා. උඹට පුළුවන්ද මට තව එක උදව්වක් කරන්න. මගේ ළඟ සල්ලි තියෙනවා. මාව ගෙදර එක්කන් යන්ඩ පුළුවන්ද?

‘ගෙවල් කොහෙද?’

‘අනුරාධපුර බස් එකේ යන්ඩ ඕනේ. අතර මඟින් බහින්ඩ ඕනේ....

‘මොකක්...’

‘ඔව් දැන් යන්ඩ ඕනේ...’

දෙවරක් සිතන්නටවත් චේතනට අවස්ථාවක් ලැබුණෙ නැත.

‘මම මූණකට හෝදාගෙන එන්නම්’

ගොල්ෆේස් පිටිය කෙළවර පිහිටි පොදු වැසිකිළිය තුළට ගිය වයසක පුද්ගලයා යළි එළියට එන විට සිටියේ එතෙක් වෙලා සිටි අපිරිසුදු හිඟන්නා නොව නා පිරිසුදු වී පිරිසුදු සුදු ඇඳුමකින් සැරසුණු වයසක පුද්ගලයෙකි.

‘පුතේ මෙන්න මේක පරෙස්සමෙන් අතේ තියා ගනින්. ඔතැන සල්ලි ගොඩක් තියෙනවා. උඹගේ බෑග් එකේ දාලා පරිස්සන් කර ගනින්.’

එය තරමක විශාල සල්ලි පාර්සලයකි. ඉටි කොළ බෑගයක දමා ඔතා තිබූ එය චේතන තම කරේ තිබූ ගමන් මල්ලේ දමා ගත්තේය. එතෙක් එම මහල්ලා අත තිබූ මල්ල ගුලිකර කුණු බක්කියකට දැමුවේය.

‘අපි යමු පුතේ..’

‘මචං මම මේ සීයව ගෙදරට දාන්න යනවා. උඹ බයිසිකලය අරගෙන පලයන්’

යන්නේද නොයන්නේද යන්න තීරණය කරන්නටත් කලින් ගමන පිටත්වීම ඉබේම සිදුවී අවසානය. චේතන ඇඳගෙන සිටි කොටකලිසමෙන්ම පිටත්විය. පිටුකොටුවේ ගුණසිංහ පුරයෙන් දහවල් එකහමාරට පමණ බසය පිටත් විය. හවස තේ බීමට ඩමාරගොල්ල ආසන්නයේ බසය නතර කෙරුණි.

‘පුතේ ඔය සල්ලිවලින් උඹ ඕන දෙයක් කාලා මොනවා හරි බීපන් මට සීනි බනිස් ගෙඩියක් ගේන්ඩ.’

අනුරාධපුරයට සැතපුම් දහයකට පහළොවකට කළින් ඔවුහු බැස ගත්හ.

‘සීයේ මම දැන් යන්නම්,

දැන් යන්ඩ පුළුවන්නේද?’

‘මෙතැන ඉඳලා ටික දුරක් යන්ඩ ඕනේ’

ඔවුහු කුඩා වැව් අතරින් වැටුණු පාරවල් දිගේ සැතපුම් තුනක් පමණ ගමන් කළහ.

‘මට මේ කැළේට ටිකක් යන්න ඕනේ බෙහෙත් ගහක් හොයාගන්න. චේතනගේ සිත තරමක ගැටලූ සහගත තත්ත්වයකට මැදි වන්නට විය. තමා කිසියම් උගුලකට අසුවී ඇතිද?

ඔහු වැව අසල වූ බැම්මේ වාඩිවිය.

‘සීයා ගිහින් එන්න. මට බෑ මම මෙතැන ඉන්නම්’

‘ඇයි මාව විශ්වාස නැද්ද?’

‘වැවේ අයිනේ තියෙන අර නෙළුම් කොළේ උඩ වාඩි වෙන්න පුළුවන්ද?’

‘මම ගෙම්බෙක්නම් පුළුවන්.’

‘ගිහින් වාඩි වෙන්න. වාඩි වෙන්ඩ පුළුවන්. මාව විශ්වාස කරලා එන්න.’

ඔහු නෙළුම් කොළය මත එරමිණියා ගොතාගෙන වාඩි විය. ඇත්තටම ඔහුට එහි වාඩි වීමට හැකියාව ලැබුණි.

‘එහෙනම් පුතේ ඔහොම්මම රවුමක් ගිහිල්ලා එන්න.’ නෙළුම් කොළය ඔහුව රැුගෙන වැව වටේ පාවී ගියේය. චේතනට මෙය අදහාගත නොහැකි විය. ඉන්පසු වනය තුළට පිවිසි මහල්ලා යම් කුඩා ශාඛයක් ගලවා ගත්තේය. ‘පුතේ මේ ඉඩම උඹගේ. තව අවුරුදු හතර පහකට පස්සේ මේ ඉඩම උඹට අයිති වෙනවා. මේ ඉඩම හිමි උඹටයි. ඒ නිසා හොරෙන් මේ පැළය ගලව ගන්න මට අයිතියක් නෑ. අයිතිකාරයත් එක්ක ඇවිල්ලයි මේක ගලවා ගන්ඩ ඕනේ.’

පැළය ගලවා ගැනීමෙන් පසු ඔහු රිටිගලට යා යුතුයැයි පැවසුවේය. ඉන්පසු චේතන මහල්ලාව රිටිගලට රැුගෙන ගියේය. රිටිගල පන්සල අසලදී ඉතිහාසගත බොහෝ කරුණු වේගයෙන් වේගයෙන් මහල්ලා චේතනට කියා දුන්නේය. ඒ සියල්ල ඔහු ඉදිරියේ සිතුවමක් මෙන් මැවී පෙණුනේය.

පසුදින පාන්දර චේතන අසලට පැමිණි මහල්ලා වනාන්තරය තුළට යෑමට ඔහුට කතා කළේය.

‘මට තව බෙහෙත් පැළයක් හොයාගන්ඩ තියෙනවා. අපි දැන් පිටත් වෙන්ඩ ඕනේ. යමු’. ඔහු නැගිට්ටේද ඒ මොහොතේය. එහෙත් සැණින් මුහුණ කට සෝදා ගත් ඔහු මහල්ලා සමග වනයට පිවිසියේය. කෙමෙන් කෙමෙන් ඔවුහු රිටිගල කඳු මුදුන වෙත පිවිසියහ.

‘මම මෙතැනින් නවතිනවා. පුතේ උඹට ගොඩක් පින්... උඹට දැන් යන්ඩ පුළුවන්

චේතනට කරන්නේ කුමක්දැයි සිතාගත නොහැකි විය. මහ වන මැද සිට තනියම පැමිණීම සිතට ඇතිකළේ තරමක බිය මුසු හැඟීමකි. එහෙත් ඔහු එය පෙන්නුවේ නැත. කරේ තිබූ බෑගයෙන් එහි වූ මුදල් දැමූ පාර්සලය ගෙන මහල්ලාට දුන්නේය.

‘මට දැන් සල්ලිවලින් වැඩක් නෑ. ඔය ළමයා ඔය ටික තියා ගන්න. ඔයාගේ ව්‍යාපාරය දියුණු කර ගන්ඩ ඔය සල්ලි යොදවන්න. ඔය ළමයා දැන් කොහෙද යන්නේ ගෙදරද? බෝඩිමටද?

‘මම කොළඹ යනවා.’

‘එහෙනම් ඇස් දෙක පියා ගන්න.’

මහල්ලා යම් තෙල් බිඳුවක් චේතනගේ නළලේ ආලේප කළේය. චේතන ඇස් ඇරියේය. ඔහු කොල්ලූපිටියේ බෝඩිමේ දොර අසල සිටගෙන සිටියි. සිදුවූයේ කුමක්ද?

මෙය විශ්වාස කළ හැක්කක්ද? රිටිගල සිට ඇසිපිය ගසන සැණින් කොල්ලූපිටියට පැමිණියේ කෙසේද? අපට මෙය සිදුවූයේ කෙලෙසද කියා තේරුම් ගැනීමට අපට නොහැකි වීම සාධාරණය. මක්නිසාදයත් එයට මුහුණ දුන් චේතනටවත් එය තේරුම් ගතනොහැකිය.

ඔහු සති දෙකකට පසු යහළුවකු සමග මහල්ලා සොයා රිටිගල පීරුවේය. එවන් අයකු පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගත නොහැකි විය.

විශ්ව විද්‍යාල ජීවිතය නිමවීමෙන් පසු ඔහු තම පරිගණක ව්‍යාපාරය ලංකාව පුරා ව්‍යාප්ත කරලීය. අනුරාධපුරේ පරිගණක ආයතනයකට ලබාදුන් පරිගණක කිහිපයක් වෙනුවෙන් ඔහුට ලක්ෂයක පමණ මුදලක් හිමි විය යුතුව පැවතුණි. එහෙත් එම ව්‍යාපාරිකයා බංකොලොත් විය. ඔහු ලංකාව අතහැර යෑමට සුරසුණේය. චේතන තමාට ලැබිය යුතු මුදල ගැන නොසිතා, ඔහුට පිටවීමට අවශ්‍ය උපකාරයන් සිදුකළේය. එම පුද්ගලයා රටින් පිටව යන දිනයේ චේතන හමුවීමට පැමිණියේය.

‘මල්ලි ඔයා මට ලොකු උදව්වක් කළේ. ඔයාගේ සල්ලි මට දෙන්න විදියක් නෑ. මගේ ඉඩමක් තියෙනවා අක්කර පහක මම ඒක ඔයාගේ නමට ලිව්වා. මෙන්න එකේ ඔප්පුව. මේකේ යන විදිය ඔක්කොම ඇඳලා තියෙනවා. මල්ලි මාසයකට සැරයක්වත් ඒ පැත්තේ යන්න.’

චේතනට මේ කිසිවක් සිතාගත නොහැකි විය. දින කිහිපයකට පසු ඔහු පවුලේ අයත් සමග ඉඩම සොයා ගියේය. ඒ වෙන ඉඩමක් නොව එදා මහල්ලා පැළය ගලවාගත් ඉඩමම බව ප‍්‍රධාන මාර්ගයෙන් වැව කණ්ඩියට වාහනය ඇතුළු කරන විටම ඔහුගේ සිතට දැනුණි. වැව් කණ්ඩියට ඔබ්බෙන් වූ අක්කර පහක පමණ වනයේ හිමිකරුවා වීමට අවස්ථාව උදාවූයේ එලෙසය. මෙය දෛවයද? නැතහොත් උරුමයද? කුමක් වුවත් එය තවමත් තේරුම්ගත නොහැකි මහා අභිරහසකි.

වෛදික ජ්‍යොතිෂවේදි
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Friday, April 3, 2015

පිදේනි සොයා ගම් වැදුණු මැගිලින්ගේ අවතාරය

මළ හිරු බැස යද්දී නැගෙන රත් පැහැ හිරු කිරණින් නෙළුම්ගමට ගෙන ආවේ මහා මූසල බවකි. දුහුවිල්ලෙන් වැසී ගිය ගුරුපාර දෙපස වූ එරමිණියා කැලෑව ඈතට දිස්වූයේ සුළ`ගට දෙපසට පැද්දෙන ඇටසැකිලි පෙළක් මෙනි. නගරයෙන් හුදෙකලාවූ නෙළුම්ගමෙහි ජීවත් වූයේ ගොවිතැනින් දිවිගෙවූ සරල මිනිසුන් පිරිසකි. උදේ රැුයින් අවදි වන මේ මිනිස්සු හිරු එළිය වැටෙන්නටත් කලියෙන් සුපුරුදු රාජකාරිය සඳහා කුඹුරට බසිති. ඔවුන් යළි කුඹුරෙන් ගොඩට එන්නේ සැ`දෑ කළුවර පොළවට පතිත වූ පසුවය. ඒ ඔවුන්ගේ සාමාන්‍ය දිනචර්යාවය. එහෙත් වසරක පමණ සිට ගමේ සියලූ වැඩ කටයුතු අතපසු වන්නට සිදුවූයේ නෙළුම් ගෙදර මැගිලින් ආච්චිගේ අවතාරය ගම වටා කරක් ගැසීම ඇරඹීමත් සමගය.

වසර විස්සකට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම ගමේ පැරැුණ්නන්ට නම් හො`දින් මතකය. මැගිලින් ආච්චී කඩිසර අතේ පයේ හයිය ඇති පිරිමින් සමග කරට කර ගොවිතැන් කටයුතු කළ ගැහැනියකි. ගුණේරිස්ගේ බාලම කෙල්ල වූ මැගිලින් උපන්දා සිටම හැදී වැඩුණේ කොල්ලකු ලෙසිනි. ගැහැනු දරුවන් තිදෙනෙකුම වූ පවුලේ පිරිමි දරුවකුගේ අඩුව පිරිමහන්නට මෙන් මැගිලින්ට ගැහැනු වැඩ පෙන්නන්නටවත් බැරිවිය. කුඩා කල සිටම තම පියා සමග හරිහරියට කැත්තේ උදැල්ලේ වැඩට උදව් වීම හේතුවෙන්ම ඇය ටිකෙන් ටික ලොකු වෙද්දී ගමේ ගොවියන් සමග කරට කර වැඩකරන්නට තරම් ජවයකින් වූවාය.

මැගිලින් තම පියාගේ කරත්තයේ ගොනුන් බැඳ වී ගෝනි ටික පටවාගෙන සැතපුම් කීපයක් ඈතින් වූ මුදලාලිගේ ගෙදරට ගෙනගොස් දී යළි නිවසට එන්නේ පුතකුගෙන් පියාට විය යුතු යුතුකම ඉටු කරමිනි. මෙලෙස කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. මැගිලින් විවාහ වී දරු මල්ලන්ද ලැබුවාය. ඇයද පිරිමියකු මෙන් නිවසේ බර කරට ගෙන කටයුතු කළාය. උදේ රැුයින් නැගිටින මැගිලින් දරුවන්ගේ වැඩ කටයුතු නිමකර ඔවුන් පාසලට පිටත් කර යවා උදැල්ලද කරේ තබාගෙන තම සැමියාට උදව් වීමට වෙලට බැස්සාය. ළමුන් යළි නිවසට එන වේලාව තෙක්ම ඇය හරි හරියට මඩ පොළෙව හා ඔට්ටු වූවාය. එය ඇගේ ජීවිතයේ කොටසක් බවට පත්වූවා සේම ඇගේ ගතේ සවි ශක්තිය ඇති තාක්කල් ඇය තම යුතුකම් එලෙසින්ම ඉටු කළාය. දරුවන් දීගතල ගිය පසුද ඇය ඇයට කළ හැකි කටයුතු අත්හැර දැමුවේ නැත. කාලයත් සමගින් ගමේ දැනුමැත්තිය බවටද පත් වූයේ ඇයයි. ඇයට අවුරුදු අසූවක් අනූවක් පමණ වනවිට ඇය හා සම වයසේ සිටි බොහොමයක් පිරිමි මෙලොව හැරගොස් සිටියහ. එහෙත් ඇය උදෙන්ම අවදිව පිරිසුදු රෙද්දක් හැට්ටයක් හැඳ දිග ලීයක්ද වාරුවට අතට ගෙන කුඹුරේ ළියදි දිගේ ඇවිද යමින් සතුටක් වින්දාය. වී ගසක වුව වෙනසක් පවා මොහොතින් ඇයට හ`දුනාගත හැකි වූයේ ඇගේ පළපුරුද්ද නිසාමය. ලියද්දේ අයිතිය කාට වුවත් ඇය එය පෙන්වා දීමට පසුබට නොවූවාය.

‘මේ ළමයෝ, පැළ ගොයමට වතුර මදි. තව ටිකක් බැඳලා දාපන්’

‘ගොයම් මැස්සෝ කැරකෙනවා වැඩියි වගේ, අළු සාත්තුවක් කරගන්න කාලේ හරි’

ඇය කියූ දේ බොහෝවිට ගමේ තරුණ පිරිසද පිළිගත්තේ වයසට ගියද සමාජය පිළිබඳ හොඳ දැනුමක් ඇය තුළ වූ නිසාය. වයස අවුරුදු එකසිය එක පසු කරද්දී ඇය මෙලොව හැර දමා ගියාය.

මැගිලින් ආච්චිගේ මරණයෙන් මාස කීපයක් ගෙවී ගියේය. සෝමේ සුපුරුදු ලෙස හිරු එළිය පතිත වෙද්දීම කුඹුරට ගියේ වතුර බැඳීම සඳහාය. හිරු එළිය පතිත වෙමින් පැවතියත් හාත්පසම මිහිදුමින් වැසී තිබිණි. සීතල මිහිදුම නෙළුම්ගමේ ගැමියන්ට එතරම් ගැටලූවක්

නොවිණි. සෝමේ සුපුරුදු පරිදි කුඹුරට බැස මඩ පිඩලි කීපයක් කපා වක්කඩට දැමීය.

‘මේ ළමයෝ, දැන් ඔය ගොයමට වතුර වැඩිය ඕන කාලේ නෙවෙයි, වතුර පුරවන්න එපා මුල කුණුවෙයි’

ඔහු හිස ඔසවා බැලූවේ සුපුරුදු කටහ`ඩක් නිසාය. ඒ මැගිලින් ආච්චීය.

‘හා නැන්දේ .......’

කියා ඔහුට පුරුද්දට මෙන් කියවුණත් මැගිලින් ආච්චී මිය ගිය බව මොහොතින් ඔහුගේ සිහියට නැගුණි. වහා ලියද්ද මතට නැග දුවන්නට ගත් සෝමේ නතර වූයේ එහා ලියද්දේ වැඩ කරමින් සිටි රත්නේ ළ`ගය.

‘මැ ................මැ................ මැගිලින් නැන්දා’

‘මැගිලින් නැන්දා මැරිලනේ බං................ ’

‘අර ................ අර................’

සෝමේ අත දිගු කළ දෙසට රත්නේද හිස ඔසවා බැලූවේය. කහ පාට මල් චීත්තයක් හැඳ තරමක් කොන්ද නවාගෙන දිගු ලීයකින් වාරු ගෙන ඇවිදින මැගිලින් නැන්දා ඔහුද දුටුවේය. එදායින් පසු ගමේ බොහොමයක් දෙනා මේ අත්දැකීමට මුහුණ දුන්නෝය. උදේ රැුයින් කුඹුරට යාම ගොවියෝ අතහැර දැමූහ. මළහිරු බසින්නට පෙර ගැහැනු හා ළමුන් නිවෙස්වලට වී දොරගුළු ලා ගත්තෝය. මෙතෙක් ගමේ පැවති කි‍්‍රයාශීලී බව වෙනුවට බියෙන් වෙව්ලමින් නෙළුම්ගමේ මිනිසුන්ට ජීවත් වීමට සිදුවිය. මෙයට හේතු වූ තවත් කරුණක්ද තිබුණි.

ඩිංගිරි කඩයප්පන් සාදා ජීවත් වූ ගැහැනියකි. පාන්දර තුනට පමණ නැගිට ඉඳි ආප්ප තැම්බීම ඇයගේ පුරුද්දයි. එදිනද ඇය ඉ`දි ආප්ප ටික ළිපේ තබා තැම්බෙන තුරු කහට කෝප්පයක්ද සාදාගෙන කුස්සියේ දොර අසල බිම වාඩිවී සිටියාය. පිළිකන්න පැත්තෙන් බල්ලන්ගේ බිරුම් හ`ඩට ඇය විමසිලිමත්ව ඒ දෙස බලන්නට විය. කවුරුන් හෝ තමා සිටින දෙසට එන බව ඇය දුටුවාය. කළුවරේ හරිහැටි හ`දුනාගත නොහැකි වූ රුව දෙපසට වැනි වැනී එන ආකාරය ඇයට එතරම් ඇල්ලූවේ නැත .

‘කවුද?’

‘ඩිංගිරියෝ, මටත් ඔය තේ කහට ටිකක් ගත්තනම්’

‘කවුද ඔය?’

‘උඹට මාව මේ ටික දොහොට අමතක වෙලා ගියාද? මම මැගිලින්නේ බං’

‘බුදු අම්මෝ’

ඩිංගිරි ගෙට පැන දොර වසාගත්තාය. මේ සිදුවීම අවසන් වූයේ ඩිංගිරිට තොවිලයක්ද නැටීමෙන් පසුවය.

ගමේ මිනිසුන්ට මෙය මහත් වදයක් බවට පත්විය. දිනපතා ගමේ ගෙදරක තොවිලයක් ලකලෑස්ති වූයේ මැගිලින් ආච්චිගේ අවතාරය ඒ තරමටම ගමේ ගෙවල් අසලට ඒමද වැඩි වූ නිසාවනි. මැගිලින් ආච්චිගේ දරුවන්ටද මෙය මහත් මානසික වදයක් වූයේ ගමේ මිනිසුන් දිනෙන් දින පැමිණ තම මවගේ අවතාරය ගම පුරා හොල්මන් කරන බව පවසන්නට වීමත් සමගය. මෙය ඉවසා ගත නොහැකි වූ තැන දන්නා කියන කපු මහත්වරුන්ගේ පිහිට පතන්නට ඔවුනට සිදුවිය. එහෙත් තොවිල්, යාග හෝම කීපයක් කෙරුණද ඒවායින් ගමට හෝ මැගිලින්ගේ පවුලේ අයට සහනයක්

ලැබුණේ නැත. ඒ වෙනුවට තොවිල් පවිල් කරන්න කරන්න තව තවත් ඇයගේ බලපෑම වැඩිවන බව ගමේ අයට වැටහුණි.

මේ අතරතුර දුර බැහැර පන්සලක යන්ත‍්‍ර මන්ත‍්‍ර ගැන හොඳ දැනුමක් ඇති හිමි නමක් පිළිබඳ තොරතුරක් මැගිලින්ගේ දරුවන්ට දැනගන්නට ලැබුණි. ඔවුහු එම පන්සල සොයා ගියෝය.

‘අනේ හාමුදුරුවනේ, දැන් අපිට විතරක් නොවෙයි ගමටම ජීවිතත් එපාවෙලා තියෙන්නේ. අම්මා ජීවත් වෙන කාලේ කිසිම කෙනෙක්ට කරදර කළේ නෑ. අපිට මේක විසඳලා දෙන්න හාමුදුරුවනේ’

‘හො`දයි හොඳයි, මම ඇවිත් බලන්නම්කෝ’

රාතී‍්‍ර හතට පමණ කිසිදු පෙර සූදානමක් නැතිව ඇබිත්ත කොලූවාද සමග හාමුදුරුවෝ මැගිලින්ගේ නිවසට ගොඩවූහ. එහිදී කිසිම වෙනසක් නොපෙන්වූ හාමුදුරුවන් ගෙට ගොඩ වූ ගමන්ම

‘කෝ මේ මැගිලින් අම්මා ඉන්නවද? මම මේ නොදන්න දේවල් වගයක් දැනගන්න ආවේ’ යනුවෙන් පැවසීය.

සිදු වූයේ නිවැසියෝ බලාපොරොත්තු නොවූ දෙයකි.

‘වඩින්න අපේ හාමුදුරුවනේ’

ඒ මැගිලින්් අම්මාගේ හ`ඩය.

‘මම හිතුවේ නෑ මැගිලින් අම්මා ඉඳියි කියලා. මොකද මේ ගමේ මිනිසුන්ට කරදර කරනවා කියන්නේ?’

‘මොන බොරුද හාමුදුරුවනේ?’

කතාව බොහෝ වෙලාවක් දිගින් දිගට ගියේය. මළගිය ආත්මයක් සමග සජීවීව තොරතුරු හුවමාරුකරගත් අවස්ථා බොහෝ විරලය. එදා එහි සිටි බොහෝ පිරිසකට ඒ අත්දැකීම ලබන්නට හැකිවිය. සියල්ල අවසානයේ ඇය ඇයගේ ආත්මයෙන් නික්ම යාමට ඉතා කුඩා දෙයක් ඉල්ලා සිටියාය.

‘මගේ කුඹුක් ගහ ළ`ග වෙලේ කුරුලූ ලියද්දේ තුන් මාසයක් යනකම් අල හොදියි බොම්බිලි කරෝලයි එක්ක හැමදාම දවල්ට බත් එකක් තියන්න. මාස තුනකට පස්සේ මම පිටවෙලා යන්නම්. එතකම් මම එතන ඉන්නවා. මම ගම වටේ ගියේ මට කිසිම තැනකින් කටට රහට කෑමක් නොලැබුණ හින්දයි’

පොරොන්දු වූ පරිදිම එදායින් පසු ඇයගෙන් ගමට කිසිදු බලපෑමක් ඇති නොවිණි. ඈ පිටව යන්නට ඇතැයි සියල්ලෝ සිතූහ.


වෛදික ජ්‍යොතිෂවේදි

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74